රඛිත, චරිත් ඇතුළු සැකකරුවන් තිදෙනාට ඇප

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Facebook

Published
කියවීමේ කාලය: මිනිත්තු 2

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 28) නියෝග කරන ලදී.

ඉකුත් නඩු දිනයේ සැකකරුවන්ගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව අද දින ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම සඳහන් කළේ එක් සැකකරුවකු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි.

ශරීර ඇපකරුවන් ඇපයේ වටිනාකම තහවුරු කරන ආකාරයේ ආදායමක් හෝ දේපළ පවතින බවට සහතික අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයේ සඳහන් විය. සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කර තිබේ.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 08 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පැවසෙන 'හරක් කටා' නමැත්තා රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රැඳවීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි දොළහක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තුන්දෙනා අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඇප නියම වුණත් චරිත් අබේසිංහ නැවත බන්ධනාගාරයට

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් සැකකාර චරිත් අබේසිංහ අද (ජුලි 28 වැනිදා) පස්වරුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් යළි බන්ධනාගාරයට රැගෙන යනු ලැබිණි.

රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදා හැරීමට නියෝග කෙරුණි.