මීගමුව බන්ධනාගාරයේ මරණ 28න් 17කට හේතුව වෙඩි තැබීම්: 11ක් මොට ආයුධ පහරදීම්වලින් - ප්‍රධාන මහේස්ත්‍රාත්

- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය පුද්ගලයින් 28 දෙනෙකුගෙන් 17 දෙනෙකුගේ මරණවලට හේතුව වෙඩි වැදීම බවත් අනෙකුත් 11 දෙනාගේ මරණවලට හේතුව මොට ආයුධවලින් පහර දීම බවත් මරණකරුවන්ගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ ස්වකීය පශ්චාත් මරණ පරීක්ෂණවලදී තහවුරු කර ඇතැයි, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා ප්‍රකාශ කළා ය.
ඒ අනුව, මීගමුව බන්ධනාගාරයේ ගැටුම අතරතුර අපරාධයක් සිදුවී ඇති බව ප්‍රකාශ කළ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා ගැටුමෙන් මියගිය සිරකරුවන් කවුරුන් ද යන්න අධිකරණය වර්ගීකරණය නොකරන්නේ සියලු දෙනාගේ ජීවිත අධිකරණයට එක හා සමානව වටින නිසා බවත් පැවසුවා ය.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මේ බව පැවසුවේ, මීගමුව බන්ධනාගාරයේ ගැටුමට අදාළ නඩුකරය බ්‍රහස්පතින්දා (ජූලි 23) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ගැටුමෙන් මියගිය සහ තුවාල ලැබූ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අරවින්ද හබක්කල සහ සේනක පෙරේරා ඇතුළු හත් දෙනෙකුගෙන් සමන්විත නීතිඥ මණ්ඩලයක් පෙනී සිටින බව අධිකරණයට දැනුම් දෙනු ලැබිණි.

විමර්ශනය පිළිබඳව CIDයෙන් වැඩිදුර වාර්තාවක්
මෙහිදී මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය පිළිබඳව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සහකාර පොලිස් අධිකාරීවරුන් හතර දෙනෙකු යටතේ වෙන් වෙන් වශයෙන් විමර්ශන කිහිපයක් පුළුල් ලෙස තවදුරටත් සිදු කරමින් පවතින බවයි.
ගැටුමෙන් මියගිය සහ තුවාල ලැබූ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අරවින්ද හබක්කල සහ සේනක පෙරේරා සඳහන් කළේ, මීගමුව බන්ධනාගාරයේ ගැටුම අතරතුර අතර මියගිය පිරිස අතරින් 17 දෙනෙකු ම මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවත් 11 දෙදෙනෙකු මියගොස් ඇත්තේ මොට ආයුධවලින් පහර දීමෙන් බවට අධිකරණ වෛද්‍ය මණ්ඩලය පශ්චාත් මරණ පරීක්ෂණවලදී තහවුරු කර ඇති පසුබිමක, මීගමුව බන්ධනාගාරය තුළ බරපතළ අපරාධයක් සිදුව ඇති බව නීතිමය වශයෙන් පෙනී යන බවයි.
ඒ අනුව, මෙම අපරාධ සිදුකළේ කවුද? වෙඩි තැබීම් සඳහා නියෝග ලබා දුන් වගකිවයුත්තන් ඉදිරියේදී මෙම ඝාතනවලට සැකකරුවන් ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවන බව ද නීතිඥවරු අවධාරණය කළහ.
54 වන වගන්තිය
ව්‍යවස්ථාදායකය සකසන ලද හා පොළොවේ ක්‍රියාත්මක කළ නොහැකි 54 වන වගන්තිය නිසා සිරකරුවන් එකට තුනක් ලෙස පත්වී ඇති බව කියා සිටි නීතිඥවරුන්, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අපහසු 54 වන වගන්තිය ව්‍යවස්ථාදායකය විසින් හඳුන්වා දී එම වගන්තිය, ක්‍රියාත්මක කරන ලෙසට අධිකරණයට උපදෙස් ලබා දී ඇති බව ද කීවේය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
54 වන වගන්තිය මඟින් අධිකරණය ඉදිරිපත් කරන සැකකරුවන් අකමැත්තෙන් හෝ බන්ධනාගාර ගත කිරීමට විනිසුරුවරුන්ට සිදුවන බව ප්‍රකාශ කළ නීතිඥවරුන් 54 වන වගන්තිය නිසා මෙරට බන්ධනාගාර තුළ දැඩි පීඩනයක් හට ගෙන ඇති බවත්, ඒ උච්චම අවස්ථාවට ළඟා වූ විට එම පීඩනය පුපුරා ගොස් මෙවැනි බරපතළ ඛේදජනක සිදුවීම් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් බව ද කීවේ ය.
නීතිඥ අරවින්ද හබක්කල තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ සතෙකු වුව ද, කූඩු කර තබන්නේ නම්, එම සතුන්ට ආහාර සහ වැසිකිළි කැසිකිළි පහසුකම් ලබා දීම අනිවාර්ය බවයි.
එවැනි පහසුකම් නොලද තැන සතෙකු වුව ද කලහකාරී ලෙස ඇසිරෙන බව අවධාරණය කළ නීතිඥවරයා මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය පුද්ගලයින්ගේ මරණවලට වගකිව යුතු සැකකරුවන් ලෙස ඇතැම් විට ඉදිරියේදී නම් කිරීමට නියමිත බන්ධනාගාර නිලධාරීන් යටතේ ම වින්දිත සිරකරුවන් රඳවා තැබීම යුක්තිසහගත නොවන බව අවධාරණය කළේය.
මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළ නඩු භාණ්ඩ ලෙස නම් කරන ලද ගිනිඅවි, ජීව උණ්ඩ, හිස් කොපු, පොලු මුගුරු, කළුගල් කැට, කොන්ක්‍රීට් කැබලි සහ පිහි, කඩු ඇතුළු තියුණු ආයුධ රැසක් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරනු ලැබුවා ය.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් පෙනී සිටි අතර ගැටුමෙන් මියගිය සහ තුවාල ලැබූ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥවරුන් වන තම්බයියා, ජයරත්න රාජ්, සුබෝධ රත්නායක, ධනුෂ්ක ද සිල්වා, ශාන් ප්‍රභාකරන්, චානක රූපසිංහ යන සමග ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අරවින්ද හබක්කල සහ සේනක පෙරේරා පෙනී සිටියහ.

මීගමුව බන්ධනාගාර CCTVවල DVR යන්ත්‍ර මොරටුව සරසවියේ පරිගණක වෝහාරික රසායනාගාරයට
මීගමුව බන්ධනාගාරයේ ඇතිවු ගැටුම අතරතුර "කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් පහර දී කඩා බිඳ දමා තිබියදී" අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බන්ධනාගාරයේ සවිකර තිබූ CCTV යන්ත්‍රවලට අදාළ DVR යන්ත්‍ර විශේෂ විමර්ශනයක් සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික රසායනාගාරයට යැවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා වෙත (ජූලි 16) දැනුම් දුන්නේ ය.
මෙසේ දැනුම් දුන්නේ මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළ නීතී කෘත්‍ය මීගමුව ප්‍රධන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එදින යළි කැඳවූ අවස්ථාවේදී ය.
මෙහිදි වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් කිහිපයක් මගින් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් කඩිනම් විමර්ශන කිහිපයක් සිදු කෙරෙමින් පවතින බවයි. එම විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීම සදහා දිනයක් ලබාදෙන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ගැටුමට හේතුව CIDය අධිකරණයට දැනුම් දෙයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජූලි 14 වැඩිදුර වාර්තාව මගින් අධිකරණයට දැනුම් දුන්නේ, කටුවැල්ලේගම සුරේෂ් නමැති බන්ධනාගාර සිරකරු බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කර කලහකාරී ලෙස හැසිරීමත් සමග බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් අතර ගැටුම ඇති වී ඇති බව ය.
ඔහු එලෙස හැසිරී ඇත්තේ තමන්ට ව්‍යායාම කිරීමට ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් බවට, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.
බන්ධනාගාරය තුළ සිටි සියලු රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර
මීගමුව බන්ධනාගාර ගැටුමින්න් බන්ධනාගාර පොලිස් හදිසි උපක්‍රමික බළකායේ (බන්ධ පොලිස්) නිලධාරීන් දස දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු ඝාතනය වීම සහ බන්ධනාගාර දේපළවලට රු. කෝටි 12කට අධික හානි සිදුවීම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් ඇතුළු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව ද එදින අධිකරණය හමුවේ පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ගැටුම සිදුවන අවස්ථාවේ මීගමුව බන්ධනාගාරය තුළ රඳවා සිටි සියලු රැඳවියන්ගෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව ද පැවසීය.
ගැටුම සිදුවන අවස්ථාවේ එහි රඳවා සිටි බොහෝ රැඳවියන් මේ වන විට දිවයින පුරා ඇති වෙනත් බන්ධනාගාරවල රඳවා ඇති බැවින් ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර සහ පහසුකම් සලසා ලෙසට වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එදින අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ, ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය යැයි කියන දිවයිනේ ඕනෑ ම බන්ධනාගාරයක රඳවා සිටින රැඳවියන්ගෙන් මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර සහ පහසුකම් සලසා දෙන ලෙසයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට සම්බන්ධ බවට හඳුනා ගන්නා සිරකරු සැකකරුවන්ට මිනී මැරුම් චෝදනා යටතේ ගිනිඅවි ආඥා පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවත්, දණ්ඩ නීතී සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317 සහ 344 වගන්ති යටතට ගැනෙන වැරදි සම්බන්ධයෙන් ද නඩු පැවරීමටත් අපේක්ෂා කරන බව මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතුරු වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දන්වා සිටියේ ය.
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිසිය මගින් සිදු කෙරුණු සියලු විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු යටතට පත් කළේ, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මීට පෙර ලබා දුන් නියෝගයකට අනුව ය. ඒ, පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරියගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
































