උසස් පෙළ සමත් වෙලත් කැම්පස් යන්න බැරි වුණා ද?: පොළී රහිත ශිෂ්‍ය ණය ගැන ඔබ දැනගත යුතු සියලු කරුණු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ඔබත් උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූවත් රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වූ අයෙක් ද?
එසේනම් මේ ලිපියේ ඇතුළත් වන්නේ ඔබට උසස් අධ්‍යාපනය හැදෑරීමට ලැබෙන තවත් පහසුකමක් සම්බන්ධව යි.
උසස් පෙළ සමත් වුව ද රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා තේරී පත් නොවූ ශ්‍රී ලාංකික සිසුන්ට රජයේ අනුමත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක පිළිගත් උපාධියක් හැදෑරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ 11 වන අදියර සඳහා අයැදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත.
මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ සොයා බැලීමකි.
අවශ්‍ය සුදුසුකම්
මෙම පොළී රහිත ශිෂ්‍ය ණය ලබා ගැනීම සඳහා ඔබට පහත සඳහන් සුදුසුකම් තිබිය යුතු ය.
ඔබ 2023, 2024 හෝ 2025 වර්ෂයන්හි පැවැත්වූ අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් එක ම වර විෂයන් 3 ම සමත් වී විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබිය යුතු ය. එමෙන් ම ඔබ අවස්ථා 3කට වඩා නොඅඩු වාර ගණනකදී එම ප්‍රතිඵලය ලබා තිබීම වැදගත් ය.
උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි සඳහා හෝ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) ඉංග්‍රීසි විෂයට අවම වශයෙන් සාමාන්‍ය (S) සාමාර්ථයක් ලබා තිබීම ද ඔබ සතු විය යුතු තවත් සුදුසුකමකි.
සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා අවම වශයෙන් ලකුණු 30ක් ලබා තිබිය යුතු අතර, 2026 සැප්තැම්බර් 27 දිනට වයස අවුරුදු 25 හෝ ඊට අඩු විය යුතු ය.
භෞතික විද්‍යා, ඉංජිනේරු තාක්ෂණවේදී විෂය ධාරාව හෝ වාණිජ්‍ය විෂය ධාරාවන් යටතේ අධ්‍යාපනය ලැබූ නමුත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලැබූ අයට, ICT සහ කළමණාකරන උපාධි පාඨමාලා සඳහා පදනම් පාඨමාලා හඳුන්වා දී ඇති අතර ඒවා සම්පූර්ණ කිරීම හරහා එම උපාධි පාඨමාලාවලට ලියාපදිංචි වීමට සුදුස්සෙකු වන්නේ ය. මෙම පදනම් පාඨමාලා පිළිබඳ වැඩිදුර විස්තර ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම අත්පොතෙහි 7 වන පිටුවෙහි සඳහන් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ණය මුදල සහ සහන කාලසීමාව
සිව් අවුරුදු උපාධි පාඨමාලා සඳහා අනුමත උපරිම ණය ප්‍රමාණයන් පහත පරිදි වේ.
- ඉංජිනේරු (Engineering) - රු.1,500,000.00
- විද්‍යා (Biological / Biomedical / Chemical Science) - රු. 1,200,000.00
- Physical Science, Bio Tech, Eng. Tech, ICT (BSc) - රු.1,000,000.00
- කළමනාකරණ සහ වාණිජ (Management & Commerce) - රු. 900,000.00
- මානවශාස්ත්ර, සමාජ විද්‍යා, ICT (Bachelor of Computer Science) - රු. 800,000.00
තුන් අවුරුදු පාඨමාලා සඳහා අනුමත ණය සීමාවන් පහත පරිදි ය.
- මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා, කළමණාකරණ සහ ශාස්ත්‍රවේදී තොරතුරු තාක්ෂණ - රු. 600,000.00
- ඉංජිනේරු සහ තාක්ෂණවේදී සහ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී - රු. 800,000.00
දෛනික වියදම් සඳහා වසරකට රු. 75,000 බැගින් (මාසිකව රු. 6,250 බැගින්) අතිරේක ණය මුදලක් ලබා ගත හැකි ය.
පාඨමාලා කාලය (වසර 3/4) සහ වසරක සහන කාලය ඇතුළත් මුළු කාල සීමාවේ ම පොළිය රජය මගින් ගෙවනු ලබ යි.
වසර 4ක උපාධි සඳහා වසර 7ක් තුළත් (වාරික 84කින්), වසර 3ක උපාධි සඳහා වසර 8ක් තුළත් (වාරික 96කින්) පොලී රහිතව ණය මුදල ආපසු ගෙවිය යුතු ය.
අනුමත උපාධි පිරිනැමීමේ ආයතන
1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත ප්‍රකාරව ආයතන 16කින් පිරිනැමෙන තෝරාගත් පාඨමාලා 129ක් වෙනුවෙන් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක ය.
උපාධි පාඨමාලා සියලු ම විෂයධාරා ආවරණය වන ලෙස තෝරා ඇති අතර, පාඨමාලා පිළිබඳ වැඩිදුර තොරතුරු අත්පොතෙහි 16-44 පිටුවල සඳහන් වේ.
මේ සඳහා අනුමත උසස් අධ්‍යාපන ආයතන පහත පරිදි වේ.
- SLIIT (Sri Lanka Institute of Information Technology)
- NSBM Green University
- CINEC Campus
- KIU (KAATSU Highly Advanced Medical Technology Training Centre)
- SLTC Research University
- ESOFT Metro Campus
- ICBT Campus
- Horizon Campus
- Saegis Campus
- Institute of Chemistry Ceylon (ICHEM)
- Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka)
- Royal Institute Colombo (RIC)
- Business Management School (BMS)
- Benedict XVI Catholic Institute (BCI)
- Aquinas College of Higher Studies
- SIBA Campus / SANASA Campus
අයැදුම් කරන්නේ කෙසේ ද?
ඔබ මේ සඳහා ඉහත සුදුසුකම් සම්පූර්ණ කර තිබේ නම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ www.studentloans.mohe.gov.lk නිල වෙබ් අඩවිය ඔස්සේ මේ සඳහා අයැදුම් කළ යුතු ය.
මෙහිදී ඔබ මාර්ගගතව (Online) පමණක් අයැදුම්පත් යොමු කළ යුතුය.
වැඩිදුර තොරතුරු සහ උපදෙස් සංග්‍රහය එම වෙබ් අඩවියෙන් ලබාගත හැක.
අයැදුම්පත් භාරගන්නා කාලසීමාව
මේ සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ වන්නේ 2026 අගෝස්තු 17 වන දින ය.
එදින සිට 2026 සැප්තැම්බර් 27 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ඒ සඳහා කාලය ලබා දී තිබේ.


































