2026 ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලිය: පකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට

ඡායාරූප මූලාශ්‍රය, Sameera Peiris / Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
පකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව, 2026 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
ඒ, දෙවැනි අවසන් පූර්ව තරගය කඩුලු 4 කින් ජය ගනිමිනි.
ඩුබායිහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 130ක් රැස් කළේය.
එම ඉනිමේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 52කදී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ෂවාල් සුල්ෆිකාර් ලකුණු 24ක් රැස් කළ අතර, ගුල් ෆෙරෝසා ලකුණු 21ක් රැස් කළාය.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ෆාතිමා සානා 4 පහර 4ක් සහ 6 පහර 2ක් ද සහිතව නොදැවී ලකුණු 47ක් රැස් කළා ය.
චමරි අතපත්තු සහ චමුදි ප්‍රබෝධා කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඡායාරූප මූලාශ්‍රය, Sameera Peiris / Getty Images
ශ්‍රී ලංකාවේ හඹා යාම
ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 2 ලකුණු 5කදී බිඳ වැටිණි.
නායක චමරි අතපත්තු ලකුණු 5කට දැවී ගිය අතර, සංජනා කාවින්දි ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූවා ය.
ඉමේශා දුලානි ලකුණු 22ක් රැස් කළාය.
ලකුණු 33කදී කඩුලු 4ක් බිඳ වැටී අසීරු තත්ත්වයකට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන ගියේ හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි ය.
ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පස්වැනි කඩුල්ලට ලකුණු 67 සබඳතාවක් ගොඩනැගූහ.
හර්ෂිතා ලකුණු 36ක් රැස් කළා ය.
4 පහර 2ක් එම ඉනිමට ඇතුළත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket / Facebook
අගනා ඉනිමක් ක්‍රීඩා කළ කවීෂා දිල්හාරි ලකුණු 33ක් රැස් කළාය.
අනතුරුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේ නිලක්ෂිකා සිල්වා සමග එක් වූ කෞෂිනී නුත්‍යංගනා ය.
වේගවත් පිටි හරඹයක නිරත වූ නිලක්ෂිකා සිල්වා පන්දු 10කින් නොදැවී
ලකුණු 18ක් රැස් කළාය.
ඇයට අනගි සහයක් ලබා දුන් නුත්‍යංගනා තම මංගල හය පහරත් සමගින් නොදැවී ලකුණු දහයක් රැස් කළා ය.
ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර 18 යි පන්දු 4කදී කඩුලු 6ක් පමණක් දැවී සිටියදී ය.
2026 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ආසියානු ක්‍රිකට් කවුන්සිලය 6 වැනි වරට සංවිධානය කරන 2026 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය ඩුබායිහිදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව, ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට අඛණ්ඩව සුදුසුකම් ලැබුවේ දෙවැනි වරටය.
ඔවුන් 2022 වසරේදී ද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ නමුත් අනු ශූරතාවයෙන් සෑහීමට පත් වීමට සිදු විය.
2024 වසරේදී පළමු වරට ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට එක් වූයේ එම අභිමානය ද සමග ය.
කණ්ඩායම් 8ක් ඇතුළත් වූ මෙවර තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 2කින් සමන්විත විය.
තරගාවලියට ඍජුව ම සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව මූලික වටයේදී තරග කළේ බී කාණ්ඩයෙනි.
මෙවර තරගාවලියට තරග 15ක් ඇතුළත් වන අතර මූලික වටයේදී සෑම කණ්ඩායමක් ම තරග 3කට සහභාගී විය.
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසියේ බී කාණ්ඩයේ මූලික වටයේ සහභාගී වූ තරග 3 ම ජය ගෙන එම කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගනිමිනි.
තරගාවලියේ පිතිකරුවන් අතර කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන්නේ නිලක්ෂිකා සිල්වා ය.
ඒ, අර්ධ ශතකයක් ද සමගිනි.
ශ්‍රී ලංකා නායක චමරි අතපත්තු පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසු වන්නේ කඩුලු 11ක් දවා ගනිමිනි.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසය
2004 වසරේදී එක් දින තරග ආකෘතිය යටතේ ඇරඹි තරගාවලිය පන්දුවාර 20/20 තරගාවලියක් බවට පත් වූයේ 2012 වසරේ සිටය.
2022 සහ 2024 වසරවලදී ද ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
2022 වසරේදී අනුශූරයින් බවට පත් වූ ශ්‍රී ලංකාව 2024 වසරේදී පළමු වරට ශූරතාව දිනා ගත්තේ ය.
2024 වසරේදී මෙන් ම මෙම වසරේදී ද ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේදී තරග කළේ පකිස්ථානය සමග ය.
එවර මෙන් ම මේ වසරේදී ද ශ්‍රී ලංකාව හමුවේ පකිස්ථානය පරාජය විය.
එමෙන් ම 2024 වසරේදී මෙන් ම මෙවරත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති 2024 තරගාවලියේ අවසන් මහා තරගයේදී චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකාව හමුවේ හර්මන් ප්‍රීට් කෞර්ගේ නායකත්වයෙන් තරග කළ ඉන්දියාව පරාජය විය.
මෙවර ද අවසන් මහා තරගයේදී ද කණ්ඩායම් දෙක තරග කරන්නේ චමරි අතපත්තුගේ සහ හර්මන් ප්‍රීට් කෞර්ගේ නායකත්වයෙනි.
ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩි ම ජයග්‍රහණ සංඛ්‍යාවක් ලබා ගත් නායකයා වන්නේ ඉන්දියාවේ හර්මන් ප්‍රීට් කෞර්ය.
ඇගේ නායකත්වයෙන් ඉන්දියාව 2012, 2016 සහ 2022 වසරවලදී ශූරයින් බවට පත් විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරග කරන මෙවර තරගාවලියේ අවසන් මහා තරගය ලබන 13 වැනි දා ඩුබායිහිදී පැවැත්වීමට නියමිත ය.


































