ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් ද? මෙන්න ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග
- Author, කුමුදු ජයවර්ධන
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
අල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් ද? CCTV (Closed-Circuit Television) යනු වර්තමානයේ සුලභව භාවිත වන ආරක්ෂක මෙවලමකි.
පොදු ස්ථානවල පමණක් නොව පෞද්ගලික වශයෙන් නිවාස සහ වෙළෙඳ සල් ආශ්‍රිතව ද CCTV පද්ධති සවි කර ඇති අයුරු බහුල ලෙස දැකිය හැකි ය.
කෙසේ වෙතත්, CCTV සවිකිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අතර විවාදාත්මක කරුණු සමාජ මධ්‍යවල පළ කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් ඇති බව පෙනී යන්නේ නැත.
නීතිමය තත්ත්වය
1995 අංක 14 දරන සාක්ෂි (විධිවිධාන) පනත සහ 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත තුළින් CCTV සවිකිරීම්වලට අදාළ නීතිමය තත්ත්වයන් පැහැදිලි කෙරේ.
පෞද්ගලිකත්වය (Privacy): ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සාමාන්‍ය නීතිය යටතේ යමෙකුගේ පෞද්ගලිකත්වයට බාධා කිරීම සිවිල් වරදක් ලෙස සැලකේ. ඒ අනුව, අන් අයගේ රූප හෝ වීඩියෝ ඔවුන්ගේ කැමැත්තෙන් තොරව අනවශ්‍ය ලෙස පටිගත කිරීම මෙම නව පනත යටතේ ගැටලුවක් විය හැකි ය.
මහජන පීඩාව (Nuisance): අසල්වැසියෙකුගේ දෛනික ජීවිතයට බාධාවක් හෝ මානසික පීඩාවක් ඇති වන ආකාරයට කැමරා සවිකර තිබීම ගැටලුවකි.
ගැටලු මතු වන අවස්ථා
අසල්වැසි හෝ යාබද නිවසක පහත දැක්වෙන ආකාරයෙන් CCTV කැමරා සවි කර ඇත්නම් නීතිමය ගැටලු මතු වනු ඇත.
- ඔබේ නිවසේ ජනේල හෝ දොරවල් තුළින් නිවස ඇතුළත පෙනෙන ආකාරයට,
- ඔබේ නිවසේ හෝ ඉඩමේ ඇතුළත කොටස් නිරීක්ෂණය වන ආකාරයට,
- ඔබේ මිදුල, පිහිනුම් තටාකය හෝ පෞද්ගලිකව භාවිත ස්ථාන ඉලක්ක වන ආකාරයට,
- ඔබේ පවුලේ සාමාජිකයන්ගේ දෛනික කටයුතු නිරන්තරයෙන් පටිගත වන ආකාරයට කැමරා සවි කර තිබේ නම් ඊට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔබට අවස්ථාව පවතී.
ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග
යම් ස්ථානයක සවි කර ඇති CCTV කැමරා පද්ධතියක් මගින් ඔබගේ පෞද්ගලිකත්වයට බාධාවක් සිදුවන බව හැඟෙන්නේ නම්, හෝ ඔබගේ නිවස දෙසට කැමරාවක් යොමු වී ඇති බව හැඟෙන්නේ නම් ඊට එරෙහිව ඔබට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ය.
නීතිඥ කසුනි හේරත් රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදී පෙන්වා දුන්නේ, CCTV පද්ධතියක් හරහා යමෙකුගේ ආරක්ෂාවට, පෞද්ගලිකත්වයට හෝ ගෞරවයට හානි වන්නේ නම් එය වරදක් බව ය.
ඒ අනුව, එවැනි අවස්ථාවකදී ආසන්නයේ පිහිටි පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කිරීමට ඔබට අවස්ථාවක් ඇත.
එහිදී, පළමුව එම ගැටලුව සමථ මූල මණ්ඩලයට යොමු කරන අතර, එහිදී නිරාකරණය කර ගත නොහැකි නම් අධිකරණයට පවා යාමට අවස්ථාව පවතී.
අදාළ කැමරා තමන්ගේ පෞද්ගලිකත්වයට, ආරක්ෂාවට හෝ ගෞරවයට බාධාවක් බව ඔබ තහවුරු කර ගත යුතු බව ශ්‍රී ලංකා පොලිසියේ CCTV කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ පසු, පොලිසිය ඒ පිළිබඳව සොයා බලා අදාළ කැමරාව හෝ කැමරා කිහිපය අන් අයට බාධාවක් නොවන පරිදි වෙනස් කරන ලෙස පොලිසිය දැනුම් දෙනු ඇත.
'සාරධර්ම පිළිබඳ ප්‍රශ්නයක්'
මේ අතර, ශ්‍රී ලංකා පොලිසියේ CCTV කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවසුවේ, "CCTV සවි කිරීමේදී අන් අයට හානියක් හෝ බාධාවක් නොවන අයුරින් සවි කිරීමට වග බලා ගත යුතු" බව ය.
"මේක සාරධර්ම පිළිබඳ ප්‍රශ්නයක්. නීතියට වඩා මෙතනදි සාරධර්ම ගැන හිතන්න වෙනවා."
මේ අතර, CCTV පද්ධතියක් ක්‍රියාත්මක වන්නේ නම්, ඒ පිළිබඳව දැනුම් දීම සඳහා යම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම ද කළ යුතු ය.