ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රන් ආලේපිත ගිනිඅවිය: හිටපු ඇමති දුමින්ද දිසානායකට අධිචෝදනා
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
කොළඹ - හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී බලපත්‍ර නොමැති රන් ආලේපිත ගිනිඅවියක් භාරයට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට අධිචෝදනා පත්‍ර භාර දීම කොළඹ මහාධිකරණයේදී බ්‍රහස්පතින්දා (සැප්. 10) සිදු විය.
අනතුරුව ඔවුන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග නියෝග කළේ ය.
එම අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසියකට අනුව විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසක්ස්ථාන ජාතික කාන්තාව අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එහිදී විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේදී භාර දීම සිදු විය.
ඉන් අනතුරුව විත්තිකාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, සිය සේවා දායකයාට මීට පෙර කොළඹ මහාධිකරණය විසින් ඇප නියම කරනු ලැබ තිබූ බව ය.
කෙසේ වෙතත්, අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු එක් එක් විත්තිකරු රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේ ය.
එමෙන් ම, විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස ද මෙහිදී විනිසුරුවරයා නියෝග කළේ ය.
ඉන් අනතුරුව විනිසුරුවරයා නියම කළේ, මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් 2 වන දා කැඳවන ලෙස ය.
2025 වසරේ මැයි 20 වන දා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණි.
රන් ආලේපිත T56 ගිනිඅවිය
කොළඹ - හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී ටී- 56 ගිනි අවියක් සොයා ගැණුනේ 2025 වසරේ මැයි 20 වන දා ය.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සිය නිවසට ටී-56 ගිනි අවියක් රැගෙන යන දුටු එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියෙකු මේ බව පොලිසියට දන්වා තිබිණි.
පසුව පොලිසිය පැමිණ අදාළ නිවස පරීක්ෂා කළේ ය.
නිවස පරීක්ෂා කිරීමෙන් පසු, ගමන් මල්ලක බහා තිබූ ටී-56 වර්ගයේ ගිනි අවිය පොලිසිය විසින් සිය භාරයට ගනු ලැබිණි.
දුමින්ද දිසානායක යනු කවුද?
දුමින්ද දිසානායක යනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන් ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි.
ඔහු උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ වැඩිමහල් පුත්‍රයා ය.
දුමින්ද දිසානායක පළමුව පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ, 2000 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ය.
ඒවන විට ඔහුගේ වයස අවුරුදු 21ක් විය.
මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ 2007 වසරේදී ඔහු වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරිණි. අනතුරුව කැබිනට් නොවන අමාත්‍ය ධූර දැරූ ඔහු 2015 ජනාධිපතිවරණයෙන්දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කළේ ය.
සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධූරයට පත් කෙරිණි.
එම පාලන කාලය තුළ ඔහු විසින් කෘෂි කර්ම අමාත්‍ය ධූරය මෙන් ම වාර්මාර්ග, ජලසම්පත් කළමනාකරණ ඇතුළු අමාත්‍ය ධූර ද හොඹවන ලදී.