සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිට මාස 18ක සිරදඬුවම්: අධිකරණය තුළ සිදුවූයේ කුමක් ද?

Published
කියවීමේ කාලය: මිනිත්තු 3

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් අද (ජූලි 28) වසර එකහමාරක සිරදඬුවමක් නියම කරන ලදී.

නඩුව විභාග කළ බදුල්ල මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා 4කටත්, ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා 3ටත් වැරදිකරු බවට තීරණය කළ අතර ඔවුන්ට දඬුවම් නියම කිරීම අද සිදු කළේය.

මන්ත්‍රී චමින්ද විජේසිරිට අමතරව චෝදනා 03කට වරදකරු කෙරුනු ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලකට බදුල්ල මහාධිකරණය වසර 10ක අත්හිටවු සිරදඬුවම් නියම කළේය.

වරදකරු වූ බන්දුල රත්නායක මියගොස් ඇති බව අධිකරණයට මීට පෙර දැනුම් දී තිබිණි.

2019 වසරේ පෙබරවාරි 10 වනදා හෝ ඒ ආසන්න දිනක බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසල දී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින්බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.

තමන් පසු කරගෙන ගිය පොලිස් ජීප් රථයේ මග හරස් කළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි නිලධාරීන්ට මරණීය තර්ජන සිදුකොට පහරදී තුවාල සිදුකර ඇති බව පැමිණිල්ල විසින් චෝදනා කර තිබිණි.

අයුතු අවහිරය, පහර දී තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරා සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ මෙම නඩුව පවර තිබිණි.

'ඇතැම් මන්ත්‍රීවරු වරප්‍රසාදවලට මුවා වෙලා පාර්ලිමේන්තුවේදි සෙංකෝලය පවා උදුරාගෙන දුවනවා'

මෙම නඩුවේ තෙවන සැකකරු වන ඇමති ආරක්ෂක නිලධාරී රසික කරුණතිලකගේ අවුරුදු 33ක පොලිස් සේවය තුළ කිසිදු චෝදනාවකට ලක්නොවී ප්‍රශංසා ලිපි 71කට හිමිකම් කියා ඇති බවත්, යාපනය, මුලිතිව්, කිලිනොච්චි ප්‍රදේශවල යුද්ධය පැවති කාලයේ සේවය කර ඇති බවත්, නොබෝ දිනකින් සේවයෙන් විශ්‍රාම ලැබීමට නියමිත බවත් විත්තියේ නීතිඥයින්ගේ කරුණු දැක්වීමේදී අනාවරණය වූ බව සදහන් කළ විනිසුරුවරයා, මෙම දඩුවම් විශ්‍රාම ලැබීමේදී බලපෑමක් නොවන බව ද අවධාරණය කළේ ය.

මහාධිකරණ විනිසුරු ජෙයරාමන් ට්‍රොස්කි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙට පෙර දීර්ඝ ප්‍රකාශයක් කරමින් මෙසේ මෙසේ පැවසුවේ ය.

"මෙම නඩුව මහාධිකරණයට එන්න කළින් සමථ මණඩලයේදි හෝ මහේස්ත්‍රාත් අධිකරණයේදි විසදාගන්න තිබුණා, මෙහි විත්තිකරුවන් වන පළමු විත්තිකරු මියගොස් සිටිනවා, දෙවන විත්තිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඇතැම් මන්ත්‍රීවරු වරප්‍රසාදවලට මුවා වෙලා පාර්ලිමේන්තුවේදි සෙංකෝලය පවා උදුරාගෙන දුවනවා, ගහගන්නවා, මිරිස්කුඩු ගහගන්නවා. නමුත් ඒ අය පාර්ලිමේන්තුවෙන් පිටතදි එවැනි ක්‍රියාවන් වල නිරත වුණා ම තමයි ප්‍රශ්නය," ඔහු පැවසුවේ ය.

"මේවා කොහොමද අනුමත කරන්නේ? කවුරුත් එවැනි සිද්ධි අනුමත කරන්නේ නෑ, අධිකරණයෙන් ලබාදෙන දඩුවම සමාජයට ආදර්ශයක් වෙනවා, ව්‍යවස්ථාදායකයේ අයත් මෙතන පැමිණ ඉන්නවා."

"මෙතන විත්තිකරුවෙකු වන පොලිස් නිලධාරියා වසර 34ක සේවා කාලයක් රාජකාරි සිදුකර තිබෙනවා , ආරක්ෂකයා වුණා ම ප්‍රභුවරයාගෙන් ජනතාවට සිදුවන හානිය වළක්වා ගත යුතු යි. මෙතනදි මොහු පක්ෂයේ ආධාරකරුවෙකුසේ කටයුතු කර තිබෙනවා," යැයි විනිසුරුවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

රජයේ අධිනිතිඥ ශක්ති ජාගොඩආරච්ච මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ අතර දෙවැනි විත්තිකිරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ද තෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුජීවන සිල්වා පෙනී සිටියහ.