වැඩිහිටියන් කිසිවෙකු තනි නොකිරීමට උත්සහ කරන ඉන්දීය ප්‍රාන්තය

    • Author, නිකිතා යාදව් සහ අශ්රෆ් පඩන්නා
    • Role, දිල්ලි සහ කේරළ
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

ඉන්දියාවේ දකුණුදිග කේරළ ප්‍රාන්තයේ ජීවත් වන 70 හැවිරිදි ටී.ඕ. ඩොමිනික් බොහෝ විට දවස ආරම්භ කරන්නේ තම පුතුන්ගෙන් එක් අයෙකුට ලබාගන්නා දුරකතන ඇමතුමකිනි.

ඔවුන්ගෙන් එක් අයෙකු අසල්වැසි කර්නාටක ප්‍රාන්තයේ ජීවත් වන අතර අනෙක් පුත්‍රයා සිටින්නේ මැද පෙරදිගයි. වඩා හොඳ රැකියා අවස්ථා සොයා ඔවුන් දෙදෙනා මීට වසර කිහිපයකට පෙර නිවසින් නික්ම ගොස් තිබුණු අතර ඩොමිනික් සහ ඔහුගේ භාර්යාව වන එම්.ජේ. මාර්තාට ඒ හේතුවෙන් තනිව ජීවත්වීමට සිදුව තිබේ.

පුතුන් දෙදෙනාගෙන් ලැබෙන දුරකතන ඇමතුම් සහනයක් ගෙන දෙන අතර එහිදී සෞඛ්‍ය සහ කාලගුණ තත්ත්වය වැනි මාතෘකා සම්බන්ධයෙන් ඔවුහු සාකච්ඡා කරති. නමුත් එම දෙපළට නිවසේදී යම් සහයෝගයක් අවශ්‍ය වූ ඒ සඳහා ඔවුන්ගේ පුතුන්ගේ සහය ලබා ගැනීමට නොහැකි ය.

ඉන්දියාවේ වේගයෙන් ම වයස්ගත වන ජනගහනය සිටින ප්‍රාන්තය වන කේරළය තුළ ඔවුන් මුහුණ දෙන මෙම තත්ත්වය සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් තිබෙන අතර සංක්‍රමණය හේතුවෙන් තනිව ජීවත් වන වැඩිහිටියන් සංඛ්‍යාව ද ඉහළ ‍යමින් තිබේ.

පසුගිය මාසයේදී වැඩිහිටි ශුභසාධනය උදෙසා කැපවූ දෙපාර්තමේන්තුවක් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර නිලධාරීන් පවසන්නේ ජනගහනය වයස්ගත වීමේ අභියෝගය ආමන්ත්‍රණය කිරීම සඳහා ඉන්දියාව තුළ එවැනි පියවරක් ගත් පළමු අවස්ථාව එය බවයි.

"අපි සම්පූර්ණයෙන් ක යැපෙන්නේ අපේ අසල්වැසියන් මත," එක් කාලපරිච්ඡේදයකදී දරුවන්ගේ හඬින් පිරී තිබූ නමුත් දැන් ඔහු බොහෝ විට නිහඬව දිවිගෙවන නිවසේ අසුන් ගෙන සිටින ඩොමිනික් පවසයි.

"අපේ ළමයි අපිව බලන්න එන්නේ හරි ම කලාතුරකින්. අපිට උදව් කරන්න අහළ පහළ නෑදෑයෝ නැහැ. හැම දෙයක් ම එන්න එන්න ම අමාරු වෙනවා."

ඔහු අසල ම අසුන්ගෙන සිටින මාර්තා පවසන්නේ, හුදෙකලාව වයස්ගතවීමේදී දැනෙන සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන බවයි.

ඔවුන්ගේ කතාව ඔවුන්ට ම පමණක් උරුම වූවක් නොවේ.

පරම්පරා ගණනාවක් පුරාවට වයෝවෘද්ධ ඉන්දියානුවන් ඔවුන්ගේ දරුවන් සමග දිවිගෙවූ අතර රැකවරණය උදෙසා ඔවුන් මත යැපිණි. නමුත් ඉන්දියාවේ වේගයෙන් ම වයස්ගත වන ජනගහනය වෙසෙන කේරළය තුළ රැකියා සහ අධ්‍යාපනය සඳහා දරුවන් සංක්‍රමණය වීම එම සම්ප්‍රදාය ක්‍රමයෙන් දුර්වල කර ඇති අතර ප්‍රාන්ත රජය දැන් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට උත්සහ ගනිමින් සිටියි.

නව දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන වෛද්‍ය රතන් කේල්කර් පවසන්නේ, එම දෙපාර්තමේන්තුවේ උපායමාර්ගය "තමන් ජීවත් වූ පරිසරයේ ම වයස්ගත වීම" යන සංකල්පය මත පදනම් වී ඇති බවයි. එහි අරමුණ වන්නේ වැඩිහිටි පුද්ගලයන් සත්කාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම වෙනුවට, ඔවුන්ට තම නිවෙස්වල සහ ප්‍රජාවන් තුළම දිගටම ජීවත් වීමට සහය වීමයි.

මෙම සැලසුම්වලට ප්‍රජා මට්ටමින් සහ නිවසේදී ලබාදෙන සත්කාර සේවා පුළුල් කිරීමත්, "සමාජ නිර්දේශනය" (social prescribing) හඳුන්වා දීමත් ඇතුළත් වේ. එනම්, වැඩිහිටි පුද්ගලයන් අර්ථවත් සමාජ ක්‍රියාකාරකම් හා සම්බන්ධ කරමින් ඔවුන්ගේ සමාජ සම්බන්ධතා සහ යහපැවැත්ම වර්ධනය කිරීමට කටයුතු කිරීමයි.

පිළිගත් සත්කාරක සේවා පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීම, වෘත්තීයමය සත්කාරක සේවා ශ්‍රම බළකායක් ගොඩනැගීම, වැඩිහිටි උද්‍යාන සකස් කිරීම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන ඇති කිරීමටත් ප්‍රාන්ත රජය සැලසුම් කරයි. වැඩිහිටි පුරවැසියන් පිළිබඳ සමස්ත ප්‍රාන්තය ආවරණය වන පරිදි සිදුකරන සමීක්ෂණයක ප්‍රතිඵල, දිගුකාලීන "Silver Economy" මාර්ගසටහන සකස් කිරීමට පදනම වනු ඇත.

"වයසට යන එක තවදුරටත් ශුභසාධන ගැටලුවක් පමණක් ම නෙවෙයි," කේල්කර් පවසයි. "එය සෞඛ්‍ය, නිවාස, ප්‍රවාහන, පළාත් පාලන, තාක්ෂණය, රැකියාව, ආරක්ෂාව, මූල්‍ය සේවා සහ ජන ජීවිතය ඔස්සේ විහිදී යනවා."

ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත අතරින් වැඩි ම වැඩිහිටි ජනගහන ප්‍රතිශතයක් ඇත්තේ කේරළ ප්‍රාන්තයේ ය. ඉන්දීය මහ බැංකුවේ මෑතකාලීන වාර්තාවකට අනුව ජාතික සාමාන්‍යය වන 14.9% සමග සසඳා බැලීමේදී 2036 වන විට ආසන්න වශයෙන් ප්‍රාන්තයේ සිටින සිව්දෙනෙකුගෙන් එක් අයෙකු එනම් 22.8% ප්‍රතිශතයක් වයස අවුරුදු 60 ඉක්මවනු ඇතැයි පුරෝකථනය කෙරේ.

ප්‍රාන්තයේ වයස්ගත ජනගහනය සමාජයීය ප්‍රගතිය සහ සංක්‍රමණ යන ද්විත්වය ම පිළිබිඹු කරයි.

වඩා හොඳ සෞඛ්‍ය සේවා, ඉහළ ගිය ආයු අපේක්ෂාව සහ පහත වැටුණු උපත් අනුපාත හේතුවෙන් එය ඉන්දියාවේ වැඩිහිටි ජනගහනය වැඩියෙන් ම සිටින ප්‍රාන්තවලින් එකක් බවට පත්ව තිබේ. ඒ අතර ම, පරම්පරා ගණනාවක් රැකියා සඳහා මැදපෙරදිග, යුරෝපය සහ වෙනත් රටවලට සංක්‍රමණය වී ඇති අතර, බොහෝ අවස්ථාවලදී ඔවුන්ගේ දෙමාපියන් ඒ හේතුවෙන් තනි වී තිබේ.

විදේස් ප්‍රේෂණ ඔවුන්ගේ ආදායම සහ ජීවන තත්ත්වය ඉහළ නංවා තිබෙන නමුත් එය වර්ධනය වන අභියෝගයක් ද නිර්මාණය කර ඇත: වැඩිහිටියන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ජීවිතයේ සැඳෑ සමය ඔවුන්ගේ දරුවන්ගෙන් වෙන්ව ජීවත් වෙති.

විදේශගතව සිටින පුද්ගලයින්ට ද මෙම වෙන්වීම මානසික පීඩනයක් ගෙන දිය හැක.

"මම ගෙදරට නිතිපතා සල්ලි එව්වට, මුදල්වලින් කරන උදව් විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ නේ," සිඩ්නි නුවර රැකියාවක නිරත තොරතුරු තාක්ෂණික වෘත්තිකයෙක් පවසයි. ඔහුගේ මව්පියන් ජීවත් වන්නේ කේරළයේ හුදෙකලාව ය.

"වැදගත් අවස්ථාවලදී, විශේෂයෙන් ම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙන වෙලාවලදී හෝ මානසිකව ශක්තියක් වෙන්න ඕනේ වෙලාවකදී ළඟින් ඉන්නවා කියන දේ මුදල්වලින් කරන්න බැහැ නේ."

මව්පියන් රෝගාතුරවී සිටින අවස්ථාවලදී ඔහුට කිලෝමීරට දහස් ගණනක් දුරින් සිට දුරකතන සහ වීඩියෝ ඇමතුම් මත බලාපොරොත්තු තබාගෙන සිටීමට සිදුවිය. "මට හරි අසරණකමක් දැනුණා."

කේරළ රජය දැන් විසඳුම් සෙවීමට උත්සහ කරමින් සිටින අභියෝගය මෙයයි.

විශ්‍රාම වැටුප්, පුළුල් ලෙස අධ්‍යයනයට ලක් වූ ප්‍රජා පාදක සහන සත්කාර පද්ධතියක් වන 'වයෝමිත්‍රම් වැඩසටහන' සහ අනෙකුත් ශුභසාධන යෝජනා ක්‍රම දැනටමත් පවතින බැවින් කිසිවක් මුල සිට ආරම්භ කිරීමට අවශ්‍ය නොවන බව කේල්කර් පවසයි. අඩුපාඩුවක් ලෙස පැවතියේ, සියල්ල එකට එක් කරන තනි පද්ධතියක් බව ද ඔහු පැවසුවේ ය.

"මේ සියලු අංශ එකට එකතු කිරීමට, අඩුපාඩු හඳුනා ගැනීමට, සහයෝගීතාව ගොඩනැගීමට සහ අනාගතය සඳහා සැලසුම් කිරීමට වගකියන තනි ආයතනික යාන්ත්‍රණයක් තිබුණේ නැහැ," ඔහු පවසයි.

නමුත් යටිතල පහසුකම් සහ සේවා පමණක් වයස්ගත වීමේ සියලු අභියෝග නොවිසඳනු ඇතැයි ඔහු පවසයි.

"තනිකම සහ සමාජයෙන් හුදෙකලා වීම කේරළය තුළ වයස්ගත වීමේදී මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් බවට පත්වෙලා," කේල්කර් පවසයි.

එම ගැටලුව පිළිබඳ ආමන්ත්‍රණය කිරීම සඳහා, දෙපාර්තමේන්තුව වැඩිහිටි ප්‍රජාව අතර පවතින හුදෙකලාව නැති කිරීමට ස්වේච්ඡා ජාල සහ ප්‍රජා වැඩසටහන් පිළිබඳව ගවේෂණය කරමින් සිටියි.

"අපේ දැක්ම තමයි, ඔවුන්ගේ දරුවන් කොහේ ජීවත් වුණත්, කේරළයේ කිසිදු වැඩිහිටියෙකුට ඔවුන්ව නොසලකා හැර ඇති බව හෝ අතහැර දමා ඇති බව නොදැනිය යුතුයි කියන එක."

වෛද්‍යවරුන් පවසන්නේ වයස්ගතවීමේදී හුදෙකලා වීමට සිදුවේ ද යන බිය රට පුරා ම වර්ධනය වෙමින් පවතින පොදු ගැටලුවක් බවයි.

"මගේ රෝගීන් මගෙන් අහනවා, ඔවුන් යැපෙන්නන් බවට පත් වුණොත් ඔවුන්ව රැකබලා ගන්නේ කවුද? කියලා," දිල්ලියේ ඇපලෝ රෝහලේ වයෝවෘද්ධ ඒකකය මෙහෙයවන වෛද්‍ය ප්‍රසුන් චැටර්ජි පවසයි.

අනෙක් පිරිස මීට වඩා ආසන්න ගැටලුවක් පිළිබඳව කණස්සල්ලෙන් පසුවන අතර ඒ, මධ්‍යම රාත්‍රියේ ඔවුන් රෝගී වුවහොත් ඔවුන්ව රෝහලක් වෙත රැගෙන යන්නේ කවුරුන් විසින් ද යන්න පිළිබඳවයි.

ඔහු වෙත පැමිණෙන රෝගීන්ගෙන් බොහෝ දෙනෙක් සිය ස්වාමි පුරුෂයා හෝ භාර්යාව මියයාමෙන් පසු හෝ දරුවන් දුරබැහැරට යාම හේතුවෙන් හුදෙකලාව දිවි ගෙවති.

ඉන්දියාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින තවත් විශාල හිඩසක් ද වෛද්‍ය චැටර්ජි පෙන්වා දෙයි. ඒ, වයෝවෘද්ධ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සුළු පිරිසක් සිටීම සහ වයෝවෘද්ධ ජනතාවගෙන් බහුතරයකට තවමත් ඔවුන්ගේ වුවමනාවන්ට නොගැලපෙන සෞඛ්‍ය සේවා මත යැපීමට සිදුවීමයි.

ඔහු පවසන්නේ, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ ප්‍රජා මධ්‍යස්ථානවල සිට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ප්‍රාථමික සෞඛ්‍ය සේවා සහ වයෝවෘද්ධ පුද්ගලයින් සඳහා සමාජයීය වශයෙන් සම්බන්ධව සිටීමට ඇති අවස්ථා දක්වා පුළුල් ආධාරක ජාලයක් අවශ්‍ය බවයි.

"කිසිදු තනි දෙපාර්තමේන්තුවකට මේ සියල්ල කිරීමේ හැකියාවක් නැහැ," ඔහු පවසයි.

ඊට අමතරව, කේරළයේ නව දෙපාර්තමේන්තුවට එහි අභිලාෂ සඳහා ගැලපෙන සම්පත් තිබේ ද යන්න පිළිබඳව ප්‍රශ්න පවතී.

වැඩිහිටි ශුභසාධනය වෙනුවෙන් ප්‍රාන්තය මෙම වසරේදී ඉන්දීය රුපියල් මිලියන 100ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6; පවුම් 802,605) වෙන් කර ඇති අතර ඇතැම් පිරිස් එය විස්තර කර ඇත්තේ සංකේතාත්මක පියවරක් ලෙස ය.

කේල්කර් පවසන්නේ මෙම අරමුදල්, සම්බන්ධීකරණ හැකියාවන් ගොඩනැගීමට, නියමු ව්‍යාපෘති සඳහා සහය වීමට සහ දිගුකාලීන ප්‍රතිචාරයක් සඳහා අවශ්‍ය දත්ත පද්ධති සංවර්ධනය කිරීම සඳහා බව ය.

"රජය වයස්ගත වීම දෙස බලන්නේ කෙටිකාලීන ව්‍යාපෘතියක් ලෙස නොවෙයි, දිගුකාලීන සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙසයි," ඔහු තවදුරටත් පවසයි.

ඇතැම් විශේෂඥයින් ද තර්ක කරන්නේ මෙම ප්‍රතිපත්තිමය පියවර පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ පෞද්ගලික පහසුකම් සහ රැකබලා ගැනීම අවශ්‍ය බවයි.

"වැඩිහිටි සත්කාර සඳහා තවමත් නිසි පරිදි නියාමනය කරන ලද වෙළෙඳපොළක් නැහැ," කේරළ ඇතුළු ප්‍රාන්ත කිහිපයක වැඩිහිටි නිවාස පහසුකම් මෙහෙයවන 'අතුල්‍යා සීනියර්කෙයාර්හි' ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රීනිවාසන් ගෝවින්දරාජ් පවසයි.

"කුඩා පරිමාණයේ සේවා සපයන්නන් බොහෝ දෙනෙක් ඉන්නවා, නමුත් ඒකාකාරී ප්‍රමිතීන් හෝ ගුණාත්මක ක්‍රමවේද නැහැ."

ඔහු පවසන්නේ කේරළයේ වයස්ගත වන ජනගහනයට අවශ්‍ය වන්නේ හුදෙක් ශුභසාධන යෝජනා ක්‍රම නොව, පෞද්ගලික විසඳුම් ලබා ගත නොහැකි පවුල්වලට සහය විය හැකි, විශ්වාසවන්ත සහ නියාමනය කරන ලද සත්කාරක පද්ධතියක් බවයි.

82 හැවිරිදි විශ්‍රාමික විද්‍යාඥයෙකු වන එම්.එස්.ආර්. දේව්ගේ ගැටලුව සරල ය. එනම් වයෝවෘද්ධ පුද්ගලයින් ඔවුන් වටා පවතින ලෝකයට සම්බන්ධ වී සිටින්නේ ද යන්නයි.

වයෝවෘද්ධ ජනතාවට ක්‍රියාශීලීව සහ ස්වාධීනව සිටීමට සහය වන ප්‍රජා ආධාරක පද්ධති පවතින ස්වීඩනය වැනි රටවලින් කේරළයට ආදර්ශ ලබාගත හැකි බව ඔහු විශ්වාස කරයි.

"සන්නිවේදනය අත්‍යවශ්‍යයි" ඔහු පවසයි.

"හුදෙක් ආහාර හෝ සෞඛ්‍ය සේවා විතරක් නෙවෙයි. සමාජශීලී කොටසක් විදිහට පුද්ගලයින්ට සම්බන්ධ වීමට ස්ථාන අවශ්‍යයි."

ඩොමිනික් සහ මාර්තා සම්බන්ධයෙන් ගත් කල, ඔවුහු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන තෙක් බලා නොසිටිති. සුපුරුදු පරිදි ඔවුහු අසල්වැසියන් මත යැපෙති.

ඔවුන්ට අවශ්‍ය දේ සංකීර්ණ නොවන බව මාර්තා පවසයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ සැබැවින් ම පැමිණිය හැකි අයෙකු ඇමතීමයි.

තම සමීපතමයින් සාගරවලින් සහ කාල කලාපවලින් වෙන්ව සිටින පවුල් ජීවත් වන ප්‍රාන්තයක් තුළ එවැනි සහයෝගයක් සැපයීමට කේරළයේ නව දෙපාර්තමේන්තුවට හැකි ද යන්න කාලය තීරණය කරනු ඇත.