පැරණි ගුවන් යානා, අලුත් සැලසුම්: SriLankan Airlines ප්‍රතිව්‍යුහගතකරණය

ශ්‍රීලංකන් ගුවන් යානයක් පියාසර කරන අයුරු බලා සිටින පුද්ගලයින් පිරිසක් සිටින ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Images

    • Author, සම්පත් දිසානායක
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 9

ඕනෑම රටක පුරවැසියෙකුට තම ජාතික ගුවන් සේවයේ යානයක පියාසර කිරීම සැබවින්ම අභිමානයකි.

කෙසේ නමුත් බොහෝ කාලයක සිට ශ්‍රීලංකන් ගුවන් සේවය පවතින්නේ දැඩි අර්බුදයකය. මාස 16කට අධික කාලයක් තිස්සේ ගුවන් සේවයට ස්ථීර ප්‍රධාන විධායක නිලධාරියෙකු තෝරාපත් කර ගැනීමට මෙන්ම වැඩි ම ඉල්ලුමක් පවතින ගමනාන්ත වෙත අමතර යානා අනුයුක්ත කිරීමට ද නොහැකි වී තිබේ.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන්නේ යසන්ත දිසානායකය.

නව සභාපති ලෙස ඩිමාල් අරන්දර පසුගිය මාසෙයේදී ධුරය භාරගත්තේ අභියෝග රැසක් මධ්‍යයේ ය.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ සරත් ගනේගොඩ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ රොහාන් ගුණතිලක ද (2026 මාර්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි) එම අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉල්ලා අස් විය. මොවුන් දෙදෙනාම, ව්‍යාපාරික ධම්මික පෙරේරාට වැඩි කොටස් අයිතියක් ඇති හේලීස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරු වූහ.

ප්‍රතිව්‍යුහගතකරණය

වයස්ගත මෙන්ම සීමිත ගුවන් යානා සංචිතයක් නඩත්තු කිරීම වෙනුවෙන් දැවැන්ත පිරිවැයක් දරමින්, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යන මෙම ජාතික සම්පත ප්‍රතිව්‍යුහගතකරණය කිරීම උදෙසා රජය විසින් මේ වන විට විශේෂඥ කමිටුවක්ද පත්කර තිබේ.

ඒ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරියගේ සභාපතිත්වයෙනි.

මෙම සමාලෝචනයේ ප්‍රධාන අරමුණ වන්නේ, රජය මත දිගුකාලීනව පැටවෙන මූල්‍ය බර අවම කරමින්, මුල්‍යමය වශයෙන් තිරසාර සහ වාණිජමය වශයෙන් කාර්යක්ෂම ජාතික ගුවන් සේවාවක් ස්ථාපිත කිරීමයි.

1979 වසරේදී පිහිටුවන ලද ශ්‍රීලංකන් ගුවන් සේවය (SriLankan Airlines), බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) කේන්ද්‍ර කරගනිමින් රටවල් ගණනාවකට ගුවන් ගමන් පවත්වා ගෙන යයි.

ඇත්ත වශයෙන්ම ගෝලීය දැවැන්ත ගුවන් සමාගම් සහ අරපිරිමැසුම්දායක (Budget) ගුවන් සමාගම් නවීන තාක්ෂණයෙන් හා නවතම යානාවලින් සන්නද්ධ වෙමින් ඉදිරියට යමින් සිටියදී, ශ්‍රීලංකන් ගුවන් සේවයට මෙම සීමිත පැරණි යානා සමූහය සමඟින් ජාත්‍යන්තර තරගකාරී වෙළඳපොළ තුළ නොනැසී රැඳී සිටිය හැකි ද? යන්න විමසා බැලිය යුත්තකි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති ඩිමාල් අරන්දර ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පසුගිය සතියේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් සභාපතීත්වය දරන යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ වත්මන් තත්ත්වය හා ඉදිරි සැලසුම් පිළිබඳව අනාවරණය කර සිටියේය.

මුල්‍ය තත්ත්වය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයාට අනුව පසුගිය කාලසීමාව තුළදී ගුවන් සේවයේ මෙහෙයුම් පිරිවැය අඩුකර ගැනීමට පාලනාධිකාරිය සමත්ව තිබේ.

"අපි මේක පාඩුව පියවාගෙන දුවන හැටියට ගෙනත් තිබෙනවා, මැද පෙරදිග අර්බුදය ආවේ නැත්නම් අපිට මෙතරම් මුල්‍ය අර්බුදයක් එන්නේ නැහැ." සභාපතිවරයා කියා සිටියේ ය.

මැදපෙරදිග ඇතිවූ තත්ත්වය සමග මාර්තු 2 වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් ගමන් 951ක් අවලංගු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුල්‍ය වර්ෂය මාර්තු 31න් අවසන් වෙයි.

මේ වසරේ මුල් කාර්තුව තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 45 ක පාඩුවක් ලබා තිබේ.

මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉන්ධන පිරිවැය ද දෙගුණ වී ඇත.

පසුගිය වසරේ මුල් කාර්තුව තුළ ඩොලර් මිලියන 21ක් වූ ඉන්ධන පිරිවැය මේ වසරේ මුල් කාර්තුව තුළ ඩොලර් මිලියන 41 දක්වා ඉහළ ගොස් ඇත.

25/26 මාර්තු 31 වැනිදා වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමස්ත ආදායම රුපියල් බිලියන 337.7කි. ඉන් මෙහෙයුම් පිරිවැය අඩු කළ පසු රුපියල් බිලියන 39 ක මෙහෙයුම් ලාභයක් උපයා තිබිණි.

එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පවතින ණය සහ බැඳුම්කර ප්‍රශ්න හා විනිමය පාඩු හේතුවෙන් 25/26 වසර තුළදී ලබා ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 13කි.

රජයේ මැදිහත්වීම තුළින් පසුගිය වසරේ පැවති මුල්‍ය වගකීම් කිහිපයක් පියවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට හැකිව තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලැබුවද එම සමූහයට අයත්, ශ්‍රී ලංකන් කේටරින් සමාගම අදාළ කාලසීමාව තුළ ලාභ ලබා ඇත. ඒ අනුව එම සමාගමේ බදුපෙර ලාභය ඩොලර් මිලියන 24 කි. බදු පසු ලාභය ඩොලර් මිලියන 20කි. එය පෙර වර්ෂයේ ලාභය සමග සැසඳීමේදී 24% ක ප්‍රගතියකී.

2024/2025 මුල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිටි මුළු සේවකයින් සංඛ්‍යාව 6071කි. ඊට ගුවන් නියමුවන් 272ක්, කළමනාකරුවන් 291ක්, ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණ ශිල්පීන් සංඛ්‍යාව 615ක් අයත් වේ. පුහුණු අභ්‍යාසලාභීන් හා විධායක නිලධාරීන් සංඛ්‍යාව 3,953කි.

වයස්ගත යානා සංචිතය

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු යානා සංඛ්‍යාව 23කි. ඒවා සියල්ල Airbus යානාවේ. ඉන් යානා 10ක් පුළුල් බඳ සහිත (Wide-body) යානා වන අතර, යුරෝපය, ඔස්ට්‍රේලියාව, ඩුබායි සහ වෙනත් දිගුදුර ගමනාන්ත වෙත පියාසර කිරීම සඳහා පුළුල් බඳ සහිත යනා යොදා ගනු ලබයි.

එම යානා 10න් තුනක් සති කිහිපයකට පෙර විවිධ දෝෂවලට ලක්ව ඇති අතර ඉන් එක් යානයක් යළි සේවයට එක්කර තිබේ.

"වයිඩ් බොඩි එක තමා අපේ බැක්බෝන් එක. ආදායම් ගෙන්නේ." යානා සංචිතය ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාභපතිවරයා පැවසීය.

පටු බඳ සහිත (Narrow-body) යානා 13ක් ඇති අතර එම යානා කෙටිදුර ගමනාන්ත වෙත පියාසර කරන ගුවන් ගමන් සඳහා යොදා ගනියි.

ජාත්‍යන්තර ගුවන් ගමන් දත්ත විශ්ලේෂණය කරන Planespotters.net ආයතනයේ නවතම වාර්තාවලට අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවය සතු සියලුම ගුවන් යානා කල්බදු (Leasing) පදනම මත ලබාගෙන ඇති ඒවා වේ.

මෙහි ඇති වඩාත්ම අවදානම් සහගත තත්ත්වය වන්නේ වත්මන් යානා ඇණියේ සාමාන්‍ය වයස (Average Age) අවුරුදු 12 වැනි ඉහළ අගයක පැවතීමයි. කල් ඉකුත් වන බදු ගිවිසුම් සහ නඩත්තු පිරිවැය ඉහළ යාම හමුවේ වුවද, සමාගම සතු පස් අවුරුදු උපායමාර්ගික සැලැස්මට අනුව ඉදිරි කාලයේදී මෙම යානා ඇණිය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂිතය. ඒ යටතේ, තවත් ගුවන් යානා කිහිපයක් බදු පදනම මත ලබාගනිමින් පවතින සේවා ධාරිතාව ඉහළ නැංවීමට කළමනාකාරිත්වය සැලසුම් කර තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය (SriLankan Airlines) සිය නව පස් අවුරුදු උපායමාර්ගික සැලැස්ම යටතේ ගෝලීය වෙළෙඳපොළ කොටස (Market Share) ඉහළ නංවා ගැනීමට සහ මූල්‍ය ස්ථාවරත්වය ළඟා කර ගැනීමට ප්‍රධාන උපායමාර්ගික පියවර කිහිපයක් ගෙන ඇත.

ශ්‍රීලංකන් ගුවන් යානයකි

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව Airbus යානා 23ක් ඇති අතර ඒවායේ සාමාන්‍ය වයස අවුරුදු 12කි.

අමාත්‍ය අරුණ කරුණාතිලක කියා සිටියේ, ප්‍රතිව්‍යූගතකරණය සම්බන්ධයෙන් පත් කර ඇති විශේෂඥ කමිටුව යානා ඇතුළුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූගතකරණය පිළිබඳ සිය යෝජනා ඉදිරි මාස 6 තුළ රජය වෙත ලබා දෙනු ඇති බවයි.

එතෙක් පවත්නා මට්ටමෙන් මෙහෙයුම් අලාභයකින් තොරව ගුවන් සේවය පවත්වාගෙන යාමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රටවල් 63ක ගමනාන්ත 130ක් කරා

ශ්‍රී ලංකන් ගුවන් සේවය වර්තමානයේ රටවල් 21ක ගමනාන්ත 33ක් වෙත සෘජුවම ගුවන් සේවා පවත්වා ගෙන යයි. මීට අමතරව වෙනත් ගුවන් සේවා සමග පවත්වාගෙන යන ගිවිසුම් සමගින්, රටවල් 63ක ගමනාන්ත 130ක් වෙත මගීන් රැගෙන යාමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කරමින් සිටියි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය වසරකට ප්‍රවාහනය කරන මගීන් සංඛ්‍යාව මිලියන 4කට අධිකය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සංනිවේදන අංශයට අනුව,

  • ලන්ඩන් (Heathrow) වෙත දිනපතාම ගුවන් ගමන් ක්‍රියාත්මක වේ.
  • පැරිස් (Charles de Gaulle) වෙත සුමානයකට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක වේ.
  • ෆ්‍රැන්ක්ෆර්ට් වෙත සුමානයකට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක වේ.
  • මැදපෙරදිග: ඩුබායි, දෝහා, රියාද්, ජෙඩ්ඩා, සහ දම්මාම් (ගුවන් ගමන් පවතින තත්ත්වය අනුව සංශෝධනය වී ඇත )
  • කුවේට් වෙත යානා පියසර කිරීම තාවකාලිකව නතර කර තිබේ.
  • ඉන්දියාව : සතියකට ගුවන් ගමන් 90ක් ක්‍රියාත්මක වේ.
  • මාලදිවයිනට දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.
  • ටොකියෝ වෙත දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.
  • මෙල්බන් වෙත දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.
  • සිඩ්නි වෙත සුමානයට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක වේ.

පස් අවුරුදු උපායමාර්ගික සැලැස්ම

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඩිමාල් අරන්දර පාර්ලිමේන්තු කමිටුව හමුවේ කියා සිටියේ, ගුවන් සේවය ඉදිරියට ගෙන යාම සඳහා අලුතින් නව ගුවන් යනා හඳුන්වා දීම අත්‍යවශ්‍ය බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු වත්මන් ගුවන් යානා සංඛ්‍යාව 23ක් වන අතර එක ගුවන් යානයක සිටින සේවක අනුපාතය ඉහළ අගයක් ගනී.

ඒ අනුව යානා සංචිතයේ වැඩිවීමක් අනිවාර්යෙන් ම සිදුවිය යුතු බව සභාපතිවරයාගේ අදහසයි.

සිය ඉදිරි සැලසුම් ගැන අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ, ලන්ඩන් වෙත ඉතා පහසුවෙන් තවත් ගුවන් යානයක් ඇතුළත් කළ හැකි බවයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවට ද තවත් යානයක් පහසුවෙන් ඇතුළත් කළ හැකි බව ඔහු කියා සිටියේය. ලබන නොවැම්බර් මාසයේ සිට එලෙස යානයක් එක් කිරීමට මේවන විට සැලසුම් කර තිබේ.

දකුණු කොරියාවට දිනපතා යානා පියාසර කළ හැකි බවත්, චීනය වෙත පියසර කරන යානා සංඛ්‍යාව වැඩි කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.

"කැපෑසිටි එක නැතිවුණත් මර්කට් එක තියෙනවා. මාර්කට් එකක් නැතිකම නෙමෙයි, අලුත් මාර්කට් එකක් අපි හොයන්න අදහස් කරනවා අප්‍රිකාවට. චීනයේ සිට අප්‍රිකාවට යන්න කෙටිම දුර තියෙන්නේ ශ්‍රී ලංකාවට" සභාපතිවරයා පැහැදිලි කර සිටියේ ය.

කල්බදු ගිවිසුම්

පුළුල් බඳ සහිත ගුවන් යානාවල කල්බදු ගිවිසුම් කාලය 2026 වසරේ දෙසැම්බර් 31 වැනිදා අවසන්වීමට නියමිතව තිබේ. ඒ අනුව එම ගිවිසුම් අලුත් කිරීමේදී දැනට ගෙවන මිල ගණන්වලට වඩා අඩු මිල ගණන් යටතේ යානා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු යොදා තිබේ.

"උදාහරණයක් ලෙස ඩොලර් ලක්ෂ 8ක් මාසයට ගෙව්වා නම් අපි දෙසැම්බර් ඉදලා ගෙවන්නේ ඩොලර් 430,000යි"

එම ලබන ඉතිරියෙන් තවත් යානා සංචිතයට එක් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම අදහස් කරයි.

කෙසේවෙතත්, කල්බදු ගන්නා ගුවන් යනා අලුත්ම ඒවා නොවන බවද සභාපතිවරයා කියා සිටියේ ය.

"අපි ලීස් එකට ගත්තත් අපි ගන්නේ නව ගුවන් යානා නෙමෙයි, අවුරුදු 7 - 8කට වඩා පරණ ඒවා තමා ගන්නේ."

"ෆ්ලීට් එක අවුරුදු 12 විතර පරණ නම්, අපි අද එයාර් බස් එකක් ඇණවුම් කළොත් ඒක එන්නේ 2031/2032. ඊට කලින් ගන්න බැහැ. පෝලිම තියෙන්නේ. අද අපි ඉතා ඉක්මනට තීරණයක් ගන්න ඕනේ ෆ්ලීට් එක අලුත් කරන්න ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක, අපි සාකච්ඡා කරගෙන යනවා"

"විශේෂඥ කමිටුවක් තියෙනවා ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන්"

"හොඳ සැලසුමක් හදලා අපි රජයට ඉදිරිපත් කරනවා. ඉතා ඉක්මනින්ම." ඔහු කියා සිටියේ ය.

ශ්‍රීලංකන් ගුවන්සේවය සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා පියවර සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.

"මේ වෙලාවේ අපි ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් පත් කරලා තියෙනවා. මේ වෙලාවේ අපි මේජර් චේන්ජ්වලට යන්න බලාපොරොත්තුවක් නැහැ ඇත්තට ම." අමාත්‍යවරයා පැවසීය.

කල්බදු ගිවිසුම් අලුත් කිරීම ගැන ද අමාත්‍යවරයා සඳහන් කළේය. "ෆ්ලයිට් 6 කලින් තිබ්බ ගාස්තුවලට වඩා අඩු රේට් එකකට ගිවිසුම් අලුතින් අත්සන් කරන්න තමා අපි අනුමැතිය අරන් තියෙන්නේ. දැනට අපි පාවිච්චි කරන ගුවන් යානාවල ගිවිසුම් කාලය දෙසැම්බර් 31 වැනිදා අවසන් වෙන්න තියෙනවා. එතකොට ඒවා ආපහු දෙනවාට වඩා ලාභයි, එකේ තියෙන කොන්ත්‍රාත් ගිවිසුම දීර්ඝ කර ගන්න එක. ඊට වඩා අඩු රේට් එකකට. කලින් අපි අත්සන් කරනවට වඩා පරණ වෙලා නේ තියෙන්නේ."

"තව රෝල්ස් රොයිස් එංජින් නඩත්තු කිරීම සම්බන්ධයෙන් වෙනම ගිවිසුමක් තිබ්බා. ඒකත් අපි මේක එක්ක අලුත් කරනවා, ඔය ඔක්කොම එක්ක කලින් තිබ්බ මෙහෙයුම් පිරිවැයට වඩා අඩු මෙහෙයුම් පිරිවැයක් යන්නේ." මෙහෙයුම් පිරිවැය අඩු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ප්‍රධාන විධායක නිලධාරියෙක් පත් කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි?

ශ්‍රී ලංකන් ගුවන්සේවයට ස්ථීර ප්‍රධාන විධායක නිලධාරියෙකු නොමැත. පසුගිය වසරේ මාර්තු මාසයේ සිට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන්නේ යසන්ත දිසානායක ය.

ප්‍රධාන විධාක නිලධාරී ධුරය සඳහා සම්මුඛ සාකච්ඡා වට දෙකක් පවත්වා තිබේ.

ඒ සඳහා පළමුවර ඉල්ලුම්පත්‍ර 172ක් සහ දෙවැනි වර ඉල්ලුම් පත්‍ර 200කට වඩා ලැබී ඇත.

ඉල්ලුම් පත්‍ර වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ, විදේශිකයින්ගෙනි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අවශ්‍යතාවය අනුව ඒ අතුරින් මූලික සුසුදුකම් සම්පූර්ණ කර ඇත්තේ සීමිත පිරිසකි. එම සම්මුඛ පරීක්ෂණ තුළින් සෑහිමකට පත්විය හැකි ලෙස අයදුම්කරුවෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

කෙසේවෙතත්, මේවන විට වසරක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනමින් ප්‍රධාන විධායක නිලධාරියෙකු CEO කෙනෙක් බඳවා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කරමින් සිටියි.

"මේක සීරියස් ඊෂූ එකක්. එමීරේට්ස්වල ඉදලා ශ්‍රීලංකන් එයාර්ලයින් එකේ මැනේජ්මන්ට් එක රජය භාරගත්තා දා සිට සම්පූර්ණ අලාභය ගණනය කළොත් එක පුරවැසියෙක්ට ගිය ගාණ බැලුවොත් තේරෙනවා නේ මේක කොච්චර සීරියස් ද කියලා. මොක ද නිලධාරීන් එනවා, අධ්‍යක්ෂ මණ්ඩල එනවා යනවා, හැබැයි පාඩුව බදුගෙවන ජනාතාවගේ ඔළුව උඩට එනවා. හිටපු සභාපති ඇවිල්ලා කතා කියලා ගියා මෙතන, පාඩුවක් වුණොත් එයා වගකියන ද? යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් කියා සිටියේ ය.

දැනට පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනාගතය තීරණය වන්නේ, ප්‍රතිව්‍යූගතකරණය සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ තීරණවලට අනුවය.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක කියා සිටියේ අදාළ කමිටු ක්‍රියාවලියෙන් පසු, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන තනතුරු සඳහා පත් කිරීම් කරන බවයි.

"සභාපතීත් අපි තාවකාලිකව පත් කරලා තියෙන්නේ, මේ ප්‍රෝසෙස් එකෙන් පස්සේ එන අවුට් කම් එක මත තමා, සභාපති, CEO, COO කියන තනතුරුවලට පත් කරන්නේ. එතකන් අපි කොන්ත්‍රාත් පදනම මත තමා පත් කරලා තියෙන්නේ."

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, තවත් සති තුනක් ඇතුළත නව ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කරන බවයි.