T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ශූරියෝ: මලල ක්‍රීඩාවෙන් ක්‍රිකට් පිටියට පැමිණි නිලක්ෂිකා සිල්වා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ මැදපෙළ පිතිකරණය ශක්තිමත් කරන ක්‍රීඩිකාවක් ලෙස නිලක්ෂිකා සිල්වා හැඳින්විය හැක.
පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති ඇය පාසල් කාලයේ මලල ක්‍රීඩාවට වැඩි දක්ෂතාවක් දක්වා තිබේ.
මලල ක්‍රීඩාවෙන් ක්‍රිකට් පිටියට පැමිණි ගමන් මග
නිශ්ශංක නිලක්ෂිකා දමයන්ති සිල්වා 1989 වසරේ සැප්තැම්බර් 27 පානදුරදී උපත ලැබුවාය. 36 හැවිරිදි වියේ පසුවන ඇය, මෙවර විස්සයි 20 ලෝක කුසලානය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ සිටින වැඩිමහල් ම ක්‍රීඩිකාව ද වේ.
මව, පියා සහ සහෝදරයින් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා වන්නේ නිලක්ෂිකා ය. පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය පාසල් කාලයේ මලල ක්‍රීඩාවට වැඩි දක්ෂතාවක් දැක්වූවාය.
වෘත්තියෙන් නර්තන ගුරුවරයෙකු වන පියාගේ අඩි පාරේ යමින් නිලක්ෂිකා ද නර්තනයට දක්ෂතා දක්වා තිබේ.
ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූව ද ඇය ඉගෙනුම ලැබූ පානදුර ශාන්ත අන්තෝනි බාලිකා පාසැලේ ක්‍රිකට් ක්‍රීඩාව නොමැතිවීම ඇගේ ඉදිරි ක්‍රීඩා ගමනට බාධාවක් විය. මේ හේතුව නිසා නිලක්ෂිකා කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එක් වී ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූවා ය.
ජාතික කණ්ඩායමට පැමිණි අයුරු
2013 වසරේ මාර්තු 7 වන දා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනූ නිලක්ෂිකා මේ දක්වා T20 තරග 114කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 1217ක් රැස් කර ගෙන තිබෙන අතර ඊට එක් අර්ධ ශතකයක් ඇතුළත් වේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 තරගවලදී වැඩි ම උඩ පන්දු සංඛ්‍යාවක් රැක ගත් ක්‍රීඩිකාවන් අතර ලොව 6 වැන්නා ද නිලක්ෂිකා ය. ඇය මේ දක්වා උඩ පන්දු 52ක් රැක ගැනීමට සමත්ව ඇත.
නිලක්ෂිකා එක්දින ජාත්‍යන්තර තරග වරම් දිනා ගනු ලැබුවේ 2015 වසරේ නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ලින්කන්හිදී ය. එක් දින ජාත්‍යන්තර තරගවලදී ඇය ලකුණු 1178ක් රැස් කළ අතර එයට අර්ධ ශතක 4ක් ඇතුළත් ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ක්‍රීඩා දිවියේ සුවිශේෂී වාර්තා
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එක් දින ජාත්‍යන්තර තරගයකදී 8 වන කඩුල්ලට ගොඩනැගූ ඉහළ ම ලකුණු සබඳතා අතර දෙවැනි ස්ථානයට හිමි වාර්තාවට ද නිලක්ෂිකා දායක වී ඇත.
ඕෂධී රණසිංහ සමග එක්වෙමින් ඇය 2019 වසරේදී එංගන්ත කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේදී 8 වන කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් ගොඩනැගුවා ය.
2022 වසරේ ජනවාරි මාසයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේදී මැලේසියාවට එරෙහි තරගයේදී නිලක්ෂිකා සහ හර්ෂිතා සමරවික්‍රමගේ දක්ෂතා පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.
ශ්‍රී ලංකාව එම තරගය ලකුණු 93කින් ජය ගත් අතර, හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂිකා සිල්වා 4 වන කඩුල්ලට ලකුණු 87ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය.
2022 වසරේදී ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කළ කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් හතරේ තරගාවලියේ Greens කණ්ඩායමට එරෙහි තරගයේදී Reds කණ්ඩායම වෙනුවෙන් නිලක්ෂිකා නොදැවී ලකුණු 110ක් රැස් කළා ය. Reds කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළේ ද නිලක්ෂිකා ය.
2023 වසරේ බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි 20 තරගාවලියේ 3 වන තරගයේදී හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂිකා සිල්වා නැවතත් වාර්තාවක් පිහිවුවීමට සමත් විය.
ඒ, එම තරගයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65කදී නොබිදුණු ලකුණු 102ක සබඳතාවක් ගොඩනගමිනි. එය ශ්‍රී ලංකා කාන්තා විස්සයි 20 ක්‍රිකට් ඉතිහාසය තුළ ඕනෑ ම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වී තිබෙන දෙවැනි හොඳ ම සබඳතාව ලෙස එය වාර්තා පොත් අතරට එක් විය.
එම තරගයේදී නොදැවී නිලක්ෂිකා රැස් කළ ලකුණු 63 ඇයගේ විස්සයි 20 තරග දිවියේ සාර්ථකම ඉනිම ලෙස ද සටහන්ව ඇත.
පසුගිය වසරේ පැවැති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී නවසීලන්තයට එරෙහිව පන්දු 26කින් ඇය අර්ධ ශතකයක් රැස් කළාය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී තරගාවලියේ වාර්තා වූ වේගවත් ම අර්ධ ශතකයේ වාර්තාව සටහන් කිරීමටද ඇය සමත් වූවාය. එම තරගයේදී එක් දින ජාත්‍යන්තර ලකුණු 1000 සීමාව පසු කිරීමට ද ඇයට හැකි විය.

































