ඩොලර් 50,000 ද? මිලියනය ද? ඩොලර් මිලියනයේ ගැටලුවෙන් හෙළි වන මිනිස් මනෝවිද්‍යාව

Two hands with turquoise-painted fingernails are spread across a large pile of $100 banknotes, covering and apparently gathering the cash. The scene is a close-up shot on a bright pink background.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබ ස්ථිරව ම ලැබෙන දේ තෝරා ගන්නවා ද? නැතහොත් 20 ගුණයක ලාභයක් වෙනුවෙන් අවදානමක් ගන්නවා ද?
    • Author, ලිසී මැක්නීල් සහ ටොම් කොල්ස්
    • Role, More or Less, බීබීසී පොඩ්කාස්ට්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ඔබට වහා ම ඩොලර් 50,000ක් ලබා ගැනීමට හෝ 50%ක අවස්ථාවක් සහිතව ඩොලර් මිලියනයක් දිනා ගැනීමට අවස්ථාවක් ලැබුණොත්, ඔබ තෝරා ගන්නේ මින් කුමක් ද?

ජාත්‍යන්තර පර්යේෂණ සහ දත්ත විශ්ලේෂණ ආයතනයක් වන YouGov ආයතනය විසින් මෑතකදී බ්‍රිතාන්‍ය ජාතික වැඩිහිටියන් 4,600 දෙනෙකුට මෙවැනි ම ආකාරයේ තීරණාත්මක ගැටලුවක් ඉදිරිපත් කරන ලදී.

ප්‍රතිඵලය කුමක් ද?

එහිදී හතරෙන් තුනකට ආසන්න (73%) පිරිසක් පැවසුවේ, ඔවුන් වහා ම පවුම් 50,000 ලබා ගන්නා බව ය.

පහෙන් එකකට වඩා (21%) පිරිසක් පවුම් මිලියන 1ක අවස්ථාවක් සඳහා යොමුවූ අතර විමසූ පිරිසෙන් 6%කට කුමක් කළ යුතු දැයි තීරණය කළ නොහැකි විය.

63%ක් වූ පිරිමි පුද්ගලයින් සමග සන්සන්දනය කළ විට කාන්තාවන්ගෙන් 82%ක් පවුම් 50,000 සඳහා තෝරා ගන්නා විට ස්ත්‍රී පුරුෂ භාවය අනුව පැහැදිලි වෙනසක් දක්නට ලැබිණි.

පළමුව මෙම සමීක්ෂණය එක්සත් රාජධානියේ පමණක් සිදු කරන ලද අතර ප්‍රතිඵල සමාජ මාධ්‍ය තුළ විවාදයක් ඇති කළේ ය.

බ්‍රිතාන්‍යය කියන්නේ මේ පෘථිවියේ ඉන්න අවදානමක් ගන්න අකැමති ම සමාජය වෙන්න ඇති!' කියා එක් විචාරකයෙකු අදහස් දක්වා තිබූ අතර, තවත් අයෙකු 'එංගලන්තයේ තියෙන ප්‍රශ්නය ඕක තමයි!' කියා සඳහන් කර තිබිණි.

නමුත් එය ඇත්තට ම සත්‍යයක් ද? බ්‍රිතාන්‍ය වැසියන් (සහ සමහර විට ඔබත් පළමු තේරීම තෝරා ගත්තේ නම්) කිසිදු තේරුමක් නොමැතිව, අහේතුක ලෙස අවදානම් ගැනීමට අකමැති පිරිසක් ද?

අතේ සිටින කුරුල්ලා...

A computer generated image shows a woman with long hair and wearing a white t-shirt with a thinking expression on her face. She purses her lips and looks up and to her right. To her right (our left) are stacks of coins, a calculator, and a hand holding US$100 bills

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අපි සාමාන්‍යයෙන් මූල්‍යමය තීරණ ගනු ලබන්නේ එක ම එක ගණිතමය ගණනය කිරීමක් පමණක් සිදු කිරීමෙන් නොවේ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම මතයට අභියෝග කරන එක් පුද්ගලයෙකු වන්නේ බීබීසී පුවත් සේවයේ ආර්ථික විද්‍යා සංස්කාරක ෆයිසාල් ඉස්ලාම් යඔහු තර්ක කරන්නේ, මෙම ප්‍රශ්නය දෙස හුදෙක් සම්භාවිතාව පිළිබඳ ගැටලුවක් ලෙස පමණක් බැලීම ඉතා සීමිත මෙන් ම පටු දැක්මක් බව ය.

කාසියක් උඩ දමා බැලීමේ 50% අවස්ථාව තෝරා ගැනීමේ තීරණය ගත යුතු යැයි සිතන්නන්, තමන් ඉතා බුද්ධිමත් බව සිතන අතර, ස්ථිරව ම ලැබෙන පවුම් 50,000 භාර ගැනීම අනුවණකමක් ලෙස සිතති. නමුත් මෙහි ඇති හාස්‍යජනක කරුණ නම්, මෙය ආර්ථික විද්‍යාවේ 101ය. එනම් චර්යාත්මක ආර්ථික විද්‍යාවේදී මෙය 'තීරණ ගැනීමේ සිද්ධාන්තය' කියා හඳුන්වයි.

ඔහු පවසන්නේ, සම්භාවිතාව ප්‍රතිඵලයෙන් සරලව ගුණ කිරීමෙන් ලැබෙන 'අපේක්ෂිත අගය' සැබවින් ම අපගේ මොළය ක්‍රියා කරන හෝ අප තීරණ ගන්නා ආකාරය නොවන බව ය.

ඉස්ලාම් පෙන්වා දෙන්නේ, ස්විට්සර්ලන්ත ජාතික ගණිතඥයෙකු වූ ඩැනියෙල් බර්නූලිගේ (1700-1782) පර්යේෂණ දත්තයන් ය. ඔහු මීට සියවස් තුනකට පමණ පෙර මූලික මෙන් ම වැදගත් අවබෝධයක් ලොවට හෙළි කළේ ය. එනම්: මිනිසුන් මුදල්වල වටිනාකම මනින්නේ හුදෙක් ගණිතමය ක්‍රමයකට ම පමණක් නොවන බව ය.

කෙටියෙන් කිවහොත් යමක මූල්‍යමය වටිනාකම එහි පෞද්ගලික වටිනාකමට සමාන නොවේ.

A black and white pencil drawing shows a man wearing a white wig and black robes.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්විට්සර්ලන්ත ජාතික ගණිතඥයෙකු වූ ඩැනියෙල් බර්නූලිගේ පැරණි චිත්‍රයකි

බර්නූලිගේ කටයුතු හීන වන ආන්තික උපයෝගිතා න්‍යායට පදනම සැකසීමට උපකාරී විය. යම් දෙයක එක් එක් අමතර ඒකකයකින් පුද්ගලයෙකුට ලැබෙන ප්‍රතිලාභය හෝ තෘප්තිය, ඔවුන් එය වැඩිපුර ලබා ගන්නා විට ක්ෂය වී යාම මෙහි අදහස යි.

උදාහරණයක් ලෙස,

  • ඩොලර් 0 සිට ඩොලර් 50,000 දක්වා ළඟා වීම ඔබේ ජීවිතය විශාල ලෙස වෙනස් කළ හැකි ය.
  • ඩොලර් 50,000 සිට ඩොලර් 100,000 දක්වා ළඟා වීම බොහෝ සෙයින් උපකාරී වනු ඇත, නමුත් එය පළමු අවස්ථාව තරම් ම විශාල බලපෑමක් නොවනු ඇත.
  • ඩොලර් 950,000 සිට ඩොලර් මිලියනයක් දක්වා යාම බොහෝ විට ඔබේ වත්මන් තත්ත්වයට ඇති කරන්නේ ඉතා සුළු වෙනසකි.

එවැනි පසුබිමක, වර්තමානයේ බොහෝ බ්‍රිතාන්‍ය වැසියන් මුහුණ දෙන මූල්‍ය දුෂ්කරතා දෙස බලන විට, පවුම් 50,000ක මුදලක් ස්ථිරව ම ලැබීමට තිබීම අතිශයින් ම ආකර්ෂණීය තේරීමකි.

කෙසේ වෙතත් නිල සංඛ්‍යා ලේඛන අනුව එම මුදල එක්සත් රාජධානියේ පූර්ණ කාලීන සේවකයින්ගේ සාමාන්‍ය වාර්ෂික වැටුපට වඩා පවුම් 10,000කින් වැඩි ය.

නමුත් මිනිසුන් මේ තීරණය ගැනීමට බලපා ඇති එකම සාධකය එය නොවේ. මෙහි ඇති තවත් වැදගත් න්‍යායක් වන්නේ ප්‍රොස්පෙක්ට් සිද්ධාන්තය යි.

පාඩු ලැබීමේ බිය

ප්‍රොස්පෙක්ට් සිද්ධාන්තය බිහිවන්නේ ඩැනියෙල් කානමන් සහ ආමොස් ට්වර්ස්කි විසින් 1979 දී ඉදිරිපත් කරන ලද සන්ධිස්ථානීය පත්‍රිකාවකින් වන අතර එය චර්යාත්මක ආර්ථික විද්‍යාවේ පදනමක් ලෙස සැලකේ.

විවිධ මූල්‍ය ප්‍රතිඵල අතරින් ජනතාව තෝරා ගැනීම් සිදු කළ පුළුල් හා පාලිත සමීක්ෂණ මත පදනම්ව ඔවුන් දෙදෙනා මිනිසුන් අවදානම සහ ප්‍රතිලාභය තක්සේරු කරන ආකාරය පිළිබඳව වැදගත් නිගමන රැසකට එළැඹියහ.

Against a bright yellow background, a purple hand holds a fan of dollar bills

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ප්‍රශ්නයේ ඇති එක් තීරණාත්මක පැත්තක් වන්නේ, කුමන දේ සිදු වුව ද යම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් සහතික වශයෙන් ම ලැබීමට තිබීම යි

එහිදී සොයාගත් එක් කරුණක් නම්, මිනිසුන් ඉතා කුඩා සම්භාවිතාවන්ට ඕනෑවට වඩා වැඩි වටිනාකමක් දීමටත්, මධ්‍යම සහ ඉහළ සම්භාවිතාවන්ට ඉතා අඩු වටිනාකමක් දීමටත් පෙළඹෙන බව යි. එමෙන් ම, මිනිසුන් මුදල් සහ අවදානම පිළිබඳ තීරණ ගනු ලබන්නේ තමන් දැනට සිටින මට්ටම (සංසන්දනාත්මක ලක්ෂ්‍යය) පදනම් කරගෙන යි.

උදාහරණයක් ලෙස, මිතුරෙකු සමඟ ඔට්ටුවක් තබා ඩොලර් 10ක් පැරදුණු පසු, එම මුදල නැවත දිනා ගැනීමට තවත් ඩොලර් 10ක අවදානමක් ගැනීමට ඔබ වැඩි කැමැත්තක් දක්වනු ඇත. නමුත් මුල සිට ම එකවර ඩොලර් 20ක ඔට්ටුවක් තැබීමට ඔබ කිසිසේත් ම කැමති නොවිය හැක.

වෙනත් අයුරකින් පවසන්නේ නම්, ඔබ සිතන්නේ නිරපේක්ෂ අගයන් ගැන නොවේ. ඔබ සිතන්නේ ඔබේ යොමු ලක්ෂ්‍යයට සාපේක්ෂව ය.

මෙම අධ්‍යයනයෙන් ලැබුණු වඩාත් ම ප්‍රසිද්ධ නිගමනය වන්නේ මෙය යි: "ලාභයට වඩා පාඩුව බරපතළ ලෙස දැනේ."

යම් මුදලක් අහිමි වීමෙන් අප අත්විඳින අපහසුතාව එම මුදල ම ලබා ගැනීමේදී ඇති වන සතුටට වඩා වැඩි බව පෙනෙන්නට ඇත. මිනිසුන් තමන් සතු දේවල් අහිමි වීම වළක්වා ගැනීම සඳහා ඉහළ වටිනාකමක් ලබා දෙයි.

ඔබ පවුම් මිලියනය දිනා ගැනීමේ අවස්ථාව තෝරාගෙන එය දිනා ගැනීමට නොහැකි වුවහොත්, ඔබට දැනෙන්නේ ඔබට තිබුණු පවුම් 50,000ක් අහිමි වූවාක් මෙනි. බොහෝ දෙනෙකුට එය ඉතා විශාල මුදලකි. එක්සත් රාජධානියේ නිවාස සහ විශ්‍රාම වැටුප් හැර, බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් පවුම් 50,000ක් හෝ ඊට වැඩි මූල්‍ය ධනයක් ඇත්තේ 25%කට පමණි. අනෙක් අතට, එරට ජනගහනයෙන් තවත් 25%කගේ අතේ ඇති මුදල පවුම් 300කටත් වඩා අඩු ය.

වයස අවුරුදු 18 ත් 24 ත් අතර තරුණ පිරිස, සාමාන්‍යයෙන් අඩු ආදායමක් ලැබුව ද, වයස අවුරුදු 65ට වැඩි පිරිසට වඩා පවුම් මිලියන 1ක ඔට්ටුවක් හෝ අවදානමක් භාර ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි. තරුණ පිරිසෙන් 28%ක් කාසියක් උඩ දමා අවදානම ගැනීමට සූදානම් වන අතර, වැඩිහිටි පිරිසෙන් එසේ සූදානම් වන්නේ 11%කි.

ස්ත්‍රී පුරුෂ භාවය සහ වයස මෙන් ම, සංස්කෘතිකමය වෙනස්කම් ද මීට බලපාන්නට ඇති බව ඉන්ටර්නෙට් ඔස්සේ ඇතැම් පිරිස් අදහස් දක්වා තිබිණි. මෙම ඉන්ටර්නෙට් සංවාදයට එක්වූ සමහර ඇමෙරිකානුවන් කියා සිටියේ, වෙනත් ජාතිකයන් මීට වඩා අවදානම් ගැනීමට කැමති වනු ඇති බව ය. ඒ අනුව, මීට වඩාත් ගැළපෙන පියවරක් තබමින්, දින කිහිපයකට පසු YouGov ආයතනය මෙම ප්‍රශ්නය ම ඇමෙරිකා එක්සත් ජනපදයේ වැසියන්ගෙන් ද විමසා සිටියේ ය.

ප්‍රතිඵලය බොහෝ සෙයින් සමාන විය.

මෙම ලිපිය සකස් කර ඇත්තේ BBC නාලිකාවේ 'More or Less' (මෝ ඕ ලෙස්) නමැති වැඩසටහන් මාලාවේ එක් කථාංගයක් (Episode) පදනම් කරගෙන යි.